drive

‘මචං, අපි කවදාවත් වාහනයක් හරියට පදින්නෙ නෑ. ඒක කරන්නෙ බාගෙට. අපි පුෂ් බයිසිකලේක යද්දි අපි හිතන්නෙ මෝටර් සයිකලයක් ගැන. මෝටර් සයිකලයක් පදිද්දි අපි හිතන්නෙ කාර් එකක් ගැන. කොයි වෙලාවකවත් අපිට අපි පදින වාහනේ එන්ජෝයි කරන්න බැරි වෙනවා’

අජිත් කුමාරසිරි මට කිව්වෙ හු`ගක් කාලෙකට කලින්. ඒක ඇත්ත. අපි සම්පූර්ණ මනසකින් වාහනේක ගමනක් අත්විඳින්නෙ කලාතුරකින්.. ඒත් මිනිත්තු කීපෙකට. පූර්ණ මනසකින් වාහනයක් පදින අත්දැකීමක් ගැන මං මුලින්ම කියෙව්වෙ රොබර්ඞ් පර්සිග් ගෙ ‘සෙන් ඇන්ඞ් ආර්ට් ඔෆ් මෝටර් සයිකල් මේන්ටනන්ස්’ පොතෙන්.

‘මං ආසයි මේ විදිහට රට ඇතුලට යන්න. මොකකටවත් ප‍්‍රසිද්ද නැති, කොහෙද කියල දන්නෙ නැති, ඒ හින්දම යන්න සුදුසුම පළාතක පාරවල් දිගේ. හැම ආතතියක්ම නැති වෙලා යනවා මේ වගේ පරණ පාරවල් දිගේ එලවද්දි. ඉඳහිට තියෙන කොන්ක‍්‍රීට් කැඩිච්ච තැන් වලින් බම්ප් වෙවී, පාර අයින දිගට වැවුණු පූස් නැටි ගාල් මැද්දෙන් එක දිගට පේන තැනිතලාව මැද්දෙන් වැටිච්ච පාර.. තව උස තණකොල එක්ක පූස් නැටි ඉස්සරහින්. සමහර තැන් වල පුංචි දිය කඩිති. පූස් නැටි ගාල් යට පුංචි තාරාවො පීනනවා ඒ වතුරෙ. සමහර වෙලාවට ඉබ්බො. අන්න ලස්සන රතු පිහාටු තියෙන කලූ කුරුල්ලෙක්…’

ඒත් මට ඇත්තට මුණගැහිලා තියෙන ඩ‍්‍රයිවින් අත්දැකීම් ගොඩක් වෙනස්. වාහනයක් එළවීමම දරුණුම ආතතිය කර ගත්, හෝන් එකෙන් අනුන්ගේ ස්නායු පුපුරන තරමට කුප්පන, කුණුහරුප සහ ඵරුෂ වචනම පාරේ භාෂාව කර ගත් සාමාන්‍ය පොදු ඩ‍්‍රයිවින් කරන අය මට කවදාවත් වාහනයක් එළවන්න නම් නොහිතෙන ගානට සුක්කානම පිටිපස්සෙ ජීවිතය එපා කරලා තිබුණෙ.

ඇත්තටම වාහනයක් එක්ක සම්බන්දෙ කොයි වගේද? වේගය සහ ඒ වේගයේ නියාමකයා තමන් වීම කියන අවකාශය කොයි තරම් නිර්මාණශීලීව හසුරුවන්න පුළුවන්ද? ඇත්තටම මේක වාහනයක් කියන්නෙ ගමනක් යන්න තියෙන උපාංගයක් කියන මූලික තැනින් එහාට වාහනයක් මනුස්ස අභ්‍යාසයක්, භාවනාවක් කර ගන්නෙ කොහොමද කියන බොහොම පොඩි පිරිසකට අදාල අදහසක් එක්ක ගණුදෙනුවක්. ඒත් මං ඒක ගැන හිතුවා. විශේෂයෙන් ලංකාවෙ ගොඩක් අය ඒ වගේ දේවල් ගැන නොහිතන හින්ද.

කොයි තරං ලිංග පාක්ෂික විදිහට පේන්න ඉඩ තිබුණත් මෙතනදි කියන්න වෙන ඇත්ත කාරණය ගෑණුන්ට වාහන එළවන එක අමාරු වැඩක්. කොයිතරම් උත්සාහ කළත් ඒ විෂයෙදි නිර්මාණශීලී වෙන්න ඒ ගොල්ලොන්ට බැරි වෙනවා. මේක හොඳටම පැහැදිලි වෙන්නෙ ගැහැණියක් සහ පිරිමියෙක් තමන්ගෙ වාහනේ එක්ක පවත්වන සම්බන්ධතාවය ඇතුලෙ. පිරිමියෙකුට වාහනය දේකට වඩා යමක්, ගමන් සගයෙක් වගේ සප‍්‍රාණික තැනකින් දැනෙනවා. ඒත් ගැහැණියකට වාහනය දෙයක්, උපකරණයක් විතරමයි. වාහන එක්ක ගෑණු සම්බන්ධ කරන වෙළඳ දැන්වීම් කොයිතරං නිර්මාණය වුණත් ඒවා නැවතත් පිරිමි පරිකල්පන විතරයි.

ඒකට හේතුව වාහනය සහ ඒ හා සම්බන්ධ භාවිතා සියල්ල පිරිමි ආශාවක් ඔස්සේ නිර්මාණය වීම කියලයි මට හිතෙන්නෙ. වාහන සම්බන්ධ සියලූ සංස්කෘතික කාරණා මෙහෙයවෙන්නෙ පිරිමි අතර. ගැහැණියක් හැම තිස්සෙම ඒ ලෝකෙට පිටස්තරයෙක්. ඒ හින්දම ගැහැණියකට වාහනයක් එළවනවා කියන්නෙ වැඩක්, වගකීමක්, වදයක් මිස පැවැත්මක් නෙමෙයි. ඒ හින්දම ගෑණියෙක් වාහනයක් එළවනවා කියන්නෙ පාරෙදි වේදනාවක්.

ඒත් වාහනයක් එළවන විදිහෙන් ඒ එළවන මනුස්සයගෙ ගොඩක් අභ්‍යන්තර කාරණා එලියට එනවා. වාහනයක සුක්කානම අල්ලන පීඩනය, ගියර් මාරු කරන විදිහ, මාර්ගය තේරුම් ගන්න විදිහ, මේ හැම දෙයක් එක්කම අපිට එළවන කෙනාගෙ පෞර්ෂය තේරුං යනවා. කොහෙත්ම බලාපොරොත්තු නොවන ආකාරයක කියවීමක් හින්දම සුක්කානම පිටිපස්සෙදි කෙනෙක් මනෝ විශ්ලේෂණ සෝපාවක ඉන්නවට වඩා විවෘතයි. ලංකාවෙ මේ ද්‍රව්‍යමය, කිසි පිළිගැනීමක් හෝ විශේෂඥභාවයක් නොපිළිගන්නා වාහන එළවන එක වෙන රටවල ජීවිතය සම්බන්ධ ගැඹුරු භාවිතාවක් දක්වා සංවර්ධනය වෙලා තියෙනවා. විශේෂයෙන් සවිඥාණකව වාහන පැදවීම කියන පුහුණු වැඩමුළු, සාකච්ඡ දියත් වෙනවා.
‘වාහන පැදවීම කියන්නෙ විභාගයක් පාස් කරනවා වගේ වැඩක් නෙමෙයි. මුලින්ම ගමනාන්තයට වඩා ගමනට ප‍්‍රධානත්වය දෙන්න මනස හුරු කරන්න…’
-සෙන් සහ වාහන පැදවීමේ ආර්ට් එක (වැඩමුළුවක්)
‘පොලිසියට අහුවෙන්නෙ නැත්තං ඩ‍්‍රයිවර් කෙනෙක් වඩා වේගෙන් යනවද? ඇයි ඒ? ඇස් වහගෙන හිතන්න කවුරුවත් ඔයා දිහා බලාගෙන නැත්තං ඔයා හැසිරෙන විදිහ.. හැම තිස්සෙම පූනීලාකාර විදිහට බලන්න පුරුදු වෙන්න බිංගෙයක් ඇතුලෙන් දකිනවට වඩා. එතකොට ළ`ග වගේම දුරත් එක විට පැහැදිලිව දකින්න පුළුවන්’
මේ වැඩමුළුවේදී දේශකයෙක් විසින් වාහන එළවන එක බෞද්ධ පුහුණුවක්, භාවනාවක් බවට පත් කරන හැටි ඒකට සහභාගි වුණු කෙනෙක් විස්තර කරනවා.
‘ඉස්සරහ බාධාවන් දුර ඉඳන් දකින්න. වේගය අඩු කරන්න…’

‘අපි ඇක්සිඩන්ට් කියල කියන දේවල් කොයි තරමක් ඇත්තටම ‘ක‍්‍රෑෂස්’ කියල කියන්න  ඕන ඒවද?’ අභ්‍යන්තරයේ මානසික ව්‍යාකූලතා සුක්කානම පිටුපසදී මෝචනය වීම සහ ගැටීමක් සඳහා පොළඹවන අවිඥාණක තෙරපීම් ගැන ඒ වැඩමුළුවෙදි සජීවී සංවාදයක් කරනවා.

ඇත්තටම ස්වයංක‍්‍රීය ගියර් වාහනේකට වඩා ගියර් මාරු කරන වාහනයක් එළවද්දි ඒ එළවීමේ රිද්මය දැනෙනවා වැඩියි. ඒ වේගය, නැවතීම්, පැනීම් සියල්ල එක්ක වාහනයේ හුස්ම හ`ඩ පරිපූර්ණ අත්දැකීමක් දනවනවා. නිදහස් විවෘත මාවත් වලදි වගේම ට‍්‍රැෆික් වැඩි නගරයෙදි වුණත් මේ ආස්වාදය අඩු නැති වගයි මගේ දැනීම. හැම ට‍්‍රැෆික් ලයිට් එකක් ඉදිරියෙදිම අපේ මානසික වේගය පරීක්‍ෂාවට ලක් වෙනවා. සෙන් ඩ‍්‍රයිවින් කියල පොතක් තියෙනවා කෙවින් සහ ටොඞ් බර්ගර් කියන ජන මාධ්‍යවේදියෙක් සහ මනෝවිශ්ලේෂකයෙක් එකතු වෙලා ලියපු.

‘සුක්කානම පිටුපස බුදුන්’ ඒ පොත පටන් ගන්නෙ එහෙම. ‘වාහනයේ ඉග්නිෂන් ද`ගරයේ තැන්පත් ඒ ශක්තිය දැල්වීමෙන් ඇන්ජිම පණ ගන්වා ඉන් ගියර් මාරු කර හයිවේ එක දිගේ වේගයෙන් යන ගමන් සෙන් මනස අභ්‍යාස කිරීමයි මේ පොතේ අරමුණ. ඒ ඔබේ ස්වභාවික පැවැත්ම සොයා යාමක්. ඔබේ අභ්‍යන්තරයේ ද`ගර ගැසුණු ඔබ නිදහස් වීමක්’

වාහනයක් එළවනවා කියන්නෙ පූර්ණ එළඹ සිටි සිහිය අවශ්‍ය වෙන වෙලාවක්. මනසේ නිරන්තර කච කචේ නවත්තන්න සිද්ද වෙන වෙලාවක්. ඒක හරියටම යෝගා පුහුණුවක් වගේ. හැම වංගුවක්ම, නැම්මක්ම, බාහිර අභ්‍යන්තර වෙන්වීමකින් තොරව අත්විඳින්න ඒ අත්දැකීමට දියවෙන්න සිද්ද වෙනවා. නිකංම ගමනක් යනවා වෙනුවට ගමනක අත්දැකීමක් බවට ඔබ පත්වෙනවා කියන්නෙ වෙනස් පැවැත්මක්.එහෙම නැත්තං හැමෝටම වාහන එළවන්න පුළුවන්. ඒත් පූර්ණ අත්දැකීමක් විදිහට එළවන එක අත්විඳින්න අතේ ඇ`ගිලි ගානට වැඩි පිරිසකට බැරි වෙනවා.

එක දවසක් සෙන් භාවනා ඉගෙන ගන්න අයික් කියන කෙනා හූ සුන්ග් ආරාමයට එනවා  වාහනේ බැටරිය පන ගන්වන්න වයර් දෙකක් ඉල්ල ගන්න. වයසට යමින් ඉන්න රෝෂි, එයා කලින් රේස් පැදපු ඒත් දැන් සෙන් ආචාර්යවරයෙක්. එයා කබල් වාහනේ හදමිනුයි ඉන්නෙ. එයා කියනවා බැටරිය පන ගන්වන්න නං ප‍්‍රශ්නෙකට උත්තර දෙන්න කියල. ‘මොකද්ද සෙන් ඩ‍්‍රයිවින් කියන්නෙ?’ රෝෂි අයික් ගෙන් අහනවා. අයික් ටිකක් වෙලා කල්පනා කරනවා. එයාගෙ මූනට කපටි හිනාවක් එනවා. මං දන්නවා,
‘විවෘත පාරක් දිගේ යන විවෘත මනසක්’

රෝෂි එකපාරටම ස්පැනර් එකකින් ගහලා අයික්ව එළව ගන්නවා. ‘ගිහින් ඉගෙන ගෙන වරෙන්’

අවුරුදු 8ට පස්සෙ ආයිමත් අයික් යනවා වාහනේ පණගන්වන්න බැටරි වයර් ඉල්ල ගන්න. රෝෂි පේන්න නැති හින්ද එයා වෙන කෙනෙක් ගෙන් අහනවා රෝෂි කොහෙද කියල. එතකොටම වාහනයක් යට ඉඳන් රෝෂි එලියට ඇදිලා එනවා.

‘ආ, දැන් උඹට මොකක්ද කියන්න තියෙන්නෙ?’  තාමත් පරණ ප‍්‍රශ්නෙමයි. අයික් ඔලූව පාත් කරගෙන අහනවා.
‘මොකද්ද සෙන් ඩ‍්‍රයිවින් කියන්නෙ?’

‘විවෘත පාරක් දිගේ යන විවෘත මනසක්’ සෙන් ආචාර්ය රෝෂි හයියෙන් හිනාවෙනවා. ඒ මොහොතෙ අයික් අවබෝධයට පත් වෙනවා.

භාවනාවක් විදිහට වාහනයක් එළවනවා කියන්නෙ වාහනය හා තමන් එක පැවැත්මක් වෙන මොහොතක්. වෙන විදිහකට කිව්වොත් මිනිහෙක් විදිහට අපේ පැවැත්ම වාහනයක් දක්වා මාරු වෙන තැනක්. අපි ඉස්සරහින් අනන්තය දක්වා විහිදුණු මහ පාරක්.

ඔබව සොයා යන ගමන අරඹන්න. ඉතිං ගියර් එක මාරු කරන්න.

-චින්තන ධර්මදාස

Categories: Brainstorm

Leave a Reply