මට  ඕන වුනේ සැලවදෝර් ඩාලි පර්ෆියුම් එකක් ගෙන්න ගන්න. 1983 දි ඩාලි මේ පර්ෆියුම් එක හදන්නෙ එයාගෙ පේ‍්‍රමය වුණු ගලාට ප‍්‍රණාමයක් විදිහට. එතකොට ගලා මැරිලා. මේ වෙද්දි ඩාලිටත් 78ක් විතර. ගලා මැරෙද්දි එයාට අවුරුදු 87යි.

ඔව්, ගලා අවුරුදු 10ක් විතර වැඩිමල් ඩාලිට වඩා.

මතකයන් සහ සුන්දර මොහොතවල හොඳම පණිවුඩකරුවා.. ඩාලි පර්ෆියුම් හඳුන්වන්නෙ එහෙම. ඩාලි මේ පර්ෆියුම් එක හදන්න එයාගෙ කැමතිම මල් දෙක, එකක් එයා වැඩ කරද්දිත් කනේ ගහගෙන ඉන්න පිච්ච මල, අනෙක රෝස පාවිච්චි කරනවා. මේ තමයි ආර්ටිස්ට් කෙනෙක් අතින් ලෝකෙ නිපදවුණු පළවෙනි පර්ෆියුම් එක.

ඉතින් මං ඒක ගැන හොය හොය හිටියෙ. එතනදි නිකංම අධිසත්තාවාදී චිත‍්‍රකරුවෙක් විදිහට වඩා වෙන විදිහකට ඩාලි ගැන බලන්න දොරක් ඇරුණ. ඩාලි අධිසත්තාවාදී චිත‍්‍රවල පියා නොවුණත් අධිසත්තාවාදී චිත‍්‍රකලාවෙ යතුර නිතරම තිබුණෙ එයාගෙ සාක්කුවෙ. එයාව මේ ගුරුකුලෙන් පිටමං කරද්දි ඩාලි කියනවා,
‘අධිසත්තාවාදය කියන්නෙ මම නෙ’ කියල.

ඩාලි මේ කියන කතාවෙ ඇත්තක් තියෙනවා. ඒ කියන්නෙ සැල්වදොර් ඩාලි සහ අධිසත්තාවාදී චිත‍්‍රය කියන්නෙ දෙකක් නෙමෙයි. ඩාලි එහෙම්පිටින්ම සරියල් ප‍්‍රකාශනයක්. චිත‍්‍ර කියන්නෙ ඒ ප‍්‍රකාශනයෙ එක කෑල්ලක් විතරයි.

ඩාලිගෙ අපි හැමෝම දන්නවා පොකට් ඔරලෝසු දියවෙලා වැක්කෙරෙන චිත‍්‍රය. සමහර ඔරලෝසු කූඹි කනවා. විචාරකයො කියන විදිහට කාලය යනු දැඩි හො නිශ්චිත යමක් නෙමෙයි කියන අදහසලූ මේ කියන්නෙ.

චිත්‍රෙක මේ විදිහට තේරුම හොයන්න යන එක චිත්‍රෙ නැති කරන වැඩක්. මට හිතෙන්නෙ චිත‍්‍රයක් තේරුමට වඩා ගොඩක් ලොකුයි. ඒක වචන වලට වඩා වෙන අදහසක් අවිඥාණයට ඇතුල් කරනවා. අපි නොදන්නා වූ අතාර්කික සම්බන්දයකින් අපි චිත‍්‍රයක් එක්ක බැඳෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඩාලිගේ වගේ චිත‍්‍ර. මේ තේරුම හෙවීම හැම ආර්ට් එකකම විචාරයේ ලොකු අවුලක්.

මට අනුව ඩාලි කියන්නෙ සයිකඩෙලික් චිත‍්‍ර කලාවෙ ආරම්භය. ඒ වෙද්දි එල්එස්ඞී හොයාගෙනත් නෑ. ඒත් වැගිරෙන ඔරලෝසු තියෙනවා. අනික ඩාලිම කියන විදිහට එයා කිසිම මත්ද්‍රව්‍යයක් පාවිච්චි කරන්නෙත් නෑ. ඒත් හොඳම ‘ඇසිඞ්’ විෂුවල්ස් නිර්මාණය වෙන්නෙ එයාගෙ අතින්.

‘මම ඩ‍්‍රග්ස් ගන්නෙ නෑ. මොකද මං කියන්නෙම ඩ‍්‍රග්ස්’ -ඩාලි

කලාකාරයෙක් වුණාම දුප්පත් වෙන්න  ඕන, දුක් විඳින්න  ඕන, කඩමාළු අඳින්න  ඕන කියල ඒ කාලෙ යුරෝපෙත් බෝවෙලා තිබුණු සම්ප‍්‍රදාය ඩාලි කණපිට හරවනවා. එයා හොඳම ජේත්තුකාරයෙක්. සුඛ විහරණයට අසීමිතව ඇලූම් කළ කෙනෙක්. අනික එයා වාමාංශිකයෙක් නෙමෙයි. ඒ කාලෙත් සැබෑ කලාකාරයෙක් නම් වාමාංශිකයෙක් වෙන්න  ඕන කියල එකක් තිබුණ. විශේෂයෙන්ම මේ අධිසත්තාවාදී ගුරුකුලයේ් ආන්ද්‍රෙ බ්‍රෙටෝන් වගේ හතරැුස් චරිත ඩාලිට විරුද්ද වුණා තදටම. එයා ඩාලිට කිව්වෙ අවිඩා ඩොලර්ස් (ඩොලර් පෙරේතයා) කියල.

විලාසිතාවක් විදිහට ඒ කාලෙ ප‍්‍රබුද්ද කලාකාරයො හැමෝම හිට්ලර්ට විරුද්ද වුණා. මේක දැනුත් එහෙමයි. 2011 කාන් ෆෙස්ටිවල් එකේ ලොකු විරෝධයක් එනවා ලාර්ස් වොන් ටි‍්‍රයර් ට එයා හිට්ලර්ට පක්ෂපාත වුණා කියල. වොන් ටි‍්‍රයර්ට කාන්ස් එන්න දෙන්නෙ නැති වෙනවා. ඒ වොන් ටි‍්‍රයර් හිට්ලර්ව එයාට තේරෙනවා කියල කියපු හින්ද. හිට්ලර් මනුස්සයෙක් විදිහට තේරුම් ගන්න පුළුවන් කියලා ඉන්ටවිව් එකක කියපු කතාවකට. ආර්ටිස්ට් කෙනෙක් විදිහට ලෝකෙ දරුණුම මිනිහගේ පවා මිනිස් නිමේෂයන් එක්ක බැඳෙන්න පුළුවන් වීම මුනිවර තත්වයක්. ඒත් කාන්ස් සම්මාන උළෙලට සහ ඒ කලා නඬේට ඊට වඩා දේශපාලනික හේතු ලොකු වුණා.

ඒත් මේ දේශපාලන අදහස් විසින් කලාව බදු ගැනීම ගැන අවුලක් ඩාලිට තිබුණ. එයාගෙ අදහස වුනේ අධිසත්තාවාදයට පවතින්න දේශපාලනය අවශ්‍ය නෑ කියන එක. අපොලිටිකල් අධිසත්තාවාදයක් තියෙන්න පුළුවන් කියන එක. මේක ඇහුවම අනිවාර්යෙන් විදර්ශනට වඩා සියදහස් ගුණයක් බ්‍රෙටෝන්ට මළ පනින්න ඇති.

මට කරන්න දෙයක් නෑ හිට්ලර්ගෙ පස්ස දැක්කම මගේ ශෘංගාරය අවදි වෙනවා, ඩාලි තමන්ගෙ අදහස කිව්වා.

ඩාලිගේ ආර්ට් පිටිපස්සෙ තිබුනෙ උපවිඥානයේ ප‍්‍රකාශන. මත්ද්‍රව්‍යයක් පාවිච්චි නොකළට අවශ්‍ය විටෙක උපවිඥානයට යන්න පුළුවන් ටෙක්නික්ස් ඩාලි දියුණු කළා. ඒකට එයා කිව්වෙ ‘පැරනොයික් ක‍්‍රිටිකල් මෙතඞ්’ කියල. දිගවෙලාවක් ඔලූවෙන් හිටගෙන ඉඳීම සහ නැවත ප‍්‍රකෘති තත්වයට ආ විගස ඇස් යට මැවෙන රූප, නින්ද යාගෙන එන විට ඇඳෙන යතාර්ථය සහ සිහිනය අතර රූප ඩාලි චිත‍්‍ර වලට අරගෙන ආවා. මේ උපවිඥානය ඇක්සස් කරන එක තමයි එයා කිව්වෙ උපරිම ක‍්‍රියේටිවිටි එක කියල.

මට කියන්න  ඕන වුනේ ඩාලි ගැන නෙමෙයි. ඒත් ඩාලි ගැන  ඕපාදූප ඒ තර්කයේ් සීමා අතික‍්‍රමණය කරපු සිතීම ටිකක් හෝ තේරුම්ගන්න  ඕන කරනවා. ඩාලි තියරියක් නෙමෙයි. ඩාලි ජීවිතයක්.

 

 ඩාලිගේ පුනරුත්පත්ති කතාව.

සැල්වදොර් ඩාලි ඉපදෙන්න අවුරුද්දකට කලින් ඩාලිගේ දෙමව්පියන්ට තව දරුවෙක් බිහිවෙන්න ඉන්නවා. ඒ ගොල්ලො එයාටයි මුලින්්ම නම තියන්නෙ ඩාලි කියල. ඒත් ඒ ළමයා ඉපදෙද්දිම මැරෙනවා. ඊට අවුරුද්දකට පස්සෙ ඉපදෙන්න එන දරුවටත් ඒ ගොල්ලො නම තියන්නෙ ඩාලි කියල. ඒ මදිවට අවුරුදු 5දි ඩාලිව එක්කගෙන ගිහින් කලින් මළ දරුවගේ සොහොන පෙන්නලා ඒ ගොල්ලො කියනවා ඒ ඔයා තමයි මේ ඉපදිලා ඉන්නෙ කියල. ඩාලිගේ මේ සංකීර්ණය එයාගෙ පහුකාලෙ චිත‍්‍රවල පවා හොල්මන් කරනවා. එයා විශ්වාස කරනවා එයා මැරිච්ච අයියාගේ පුනරුත්පත්තිය කියල.

‘අපි දෙන්නා එක වගේම වතුර බිංදු දෙකක්. ඒත් අපි දෙන්නගෙන් පෙනෙන පරාවර්තන වෙනස්’- ඩාලි

 

ඩාලිගේ ලෙජන්ඩරි රැවුල.

ජෝ්න් ලෙනන් කියන්නෙ ඩාලිගේ හොඳ යාලූවෙක්. ඒ යාලූකමට යෝකෝ ඔනෝ එකපාරක් මුණගැහුන වෙලාවක ඩාලිගෙන් රැුවුල් ගහක් ඉල්ලනවා සැමරුමක් විදිහට. ඩාලිගේ රැුවුල විශේෂ රැවුලක්නෙ. ඩාලි කියන විදිහට ඒ රැුවුලෙ අග උල්වුණු අග‍්‍ර දෙකෙන් තමයි මුලූ ලෝකෙටම අවශ්‍ය ශක්තිය සම්පේ‍්‍රෂණය වෙන්නෙ. කොහොම වුණත් ඩාලි මේ රැවුල් ගහට හිතාගන්න බැරි ගානක් ඉල්ලනවා. මට ගාන මතක නෑ. ඒත් ඒක අහපු ගමන් යෝකෝ ඔනෝ පස්සට විසි වෙනවා.

ගොඩක් අය කියන්නෙ ඒ ඩාලිගේ සල්ලි පෙරේතකම කියල. ඒත් ළ`ගම අය දන්න ඇත්ත හේතුව ඩාලි විශ්වාස කරනවා යෝකෝ ඔනෝ එයාට හූනියං කරයි කියල රැුවුල් ගහ අරන් ගිහින්.

ඩාලිගේ මනස තාර්කික, දේශපාලනික හෝ නූතනවාදී වගේ සීමාවක හිරවුනේ නෑ. ඒ වෙනුවට එයාට මිත්‍යාවට, අදේශපාලනයට, අතීතයට, පෙර ආත්මයට පවා යන්න නිදහස තිබුණ. ඩාලි කියන්නෙ මොඩර්න් වෙන්න ද`ගළන්න  ඕන නෑ, මොකද කොහොමටත් අපිට කරන හැම දෙයක්ම මොඩර්න් වීම වළක්වන්න බැරි හින්ද කියල.

මට කියන්න  ඕන වුනේ ඩාලිගේ පේ‍්‍රමය ගැන. ඒත් කතාව කැලේ ගියා.

ගලා කියන්නෙ රුසියානු යුවතියක්. ඩාලිට එයාව මුලින්ම මුණගැහෙද්දි එයා පෝල් එලාර්ඞ් කියන ප‍්‍රසිද්ද ප‍්‍රංශ අධිසත්තාවාදී කවියගේ බිරිඳ. ඒත් ඩාලිට කොහොම හරි ගලාව තමන්ගෙ කර ගන්න  ඕන වෙනවා.

පෝල් සහ ගලා අතරත් තියෙන්නෙ විවෘත විදිහෙ සම්බන්දයක් ( ඕපන් රිලේෂන්ෂිප්). ඔවුන් අතරෙ වෙනත් ලිංගික සම්බන්දතා වලට බාධා පැනවෙන්නෙ නෑ. ඒ විවෘතකම ඇතුලෙ ඩාලි එක්ක පෑහෙන ගලා අන්තිමට ඩාලි එක්කම නවතින්න තීරණය කරනවා. ඒ ආදරය වෙනුවෙන් ඩාලි එයාට ලොකු මන්දිරයක් තෑගි කරනවා. ගලා ඒ මන්දිරය බාරගන්නෙත් එක කොන්දේසියක් උඩ. ඒ ඩාලි වුණත්් ඒ මන්දිරයට එනවා නම් ලිඛිත දැනුම්දීමකින් පස්සෙ එන්න  ඕන කියන එක.

ඩාලි එක`ග වෙනවා. ගලාට මන්දිරය ලැබෙනවා.

ඩාලිගේ සියලූ දේ වෙන්නෙ මේ ආදරය. මුල්කාලෙ එයා හැම චිත‍්‍රයක්ම අවසන් කළේ එයාගෙයි ගලාගෙයි දෙන්නගෙම අත්සන් එක්ක. ඒ චිත‍්‍රවලට ඉන්ස්පිරේෂන් එක වුණේ ගලාගේ ආදරය. ඒත් ඒක අපි උපකල්පනය කරන විදිහෙ සරල ලව් එකක් නෙමෙයි. පෝල් එලාර්ඞ් වගේ කවියෙක් අත්ඇරලා ඩාලි ළ`ගට එන්න තරම් හේතුවක් තියෙන්න  ඕන එතන. අනික ගලා කියන්නෙ තමන්ගෙ නිදහස කිසි හේතුවක් හින්ද පාවලා නොදෙන වර්ගයේ ගැහැණියක්.

ගලාට මුණගැහෙනකල් ඩාලි ස්ත‍්‍රියක් එක්ක වෙන කිසි ලිංගික අත්දැකීමක් ලබලා නෑ. ඒකට හේතුව ස්ත‍්‍රී යෝනිය සම්බන්ධයෙන් ඩාලිට තියෙන නොදන්නා භීතියක්. මේ හැම සවිඥාණික අවිඥාණක කඩතොළුවක්ම ආදරෙන් සිපවැළඳගනිමින් තමයි ගලා ඩාලි එක්ක ආදරේ පටන් ගන්නෙ.

ඩාලි සහ ගලා අතර පේ‍්‍රමයෙත් කවදාවත් දොර අ`ගුළු දාලා තිබුණෙ නෑ. ගලා වරින් වර පෝල් සහ තවත් නොයෙක් කලාකාරයන් එක්ක සම්බන්්ධතා තියාගත්තා. එයාගෙ සෙක්ෂුවල් එනර්ජි එක දැවැන්තයි.

කොහෙත්ම එක පිරිමියෙකුට ඒක දරන්න අමාරුයි. එයත් එක්ක නිදාගන්න ආර්ටිස්ට්ලා ලයිට් දාහක් එකපාර පත්තු වුණා වගේ වුණේ මේ ජෙනරේටරේ හින්ද. ඒක ආණ්ඩුවෙ කරන්ට් එක වගේ නෙමෙයි.

ගලාට තිබුණ පිරිමින්ව හදන්න පුළුවන් විදිහෙ නිර්මාණාත්මක ශෘංගාර ආවේශයක්. එයාට පැවරිලා තිබුණෙ මේ ආර්ටිස්ටික් පිරිමින්ගෙ හැංගිලා වකුටු වෙලා තියෙන මැජික් එක කෙලින් කරන්න.

ගලාට ලිංගිකත්වය පෙරටු කරගත් තමන්ගේ චාරිකාව යන්න ඩාලි බාධාවක් වෙන්නෙ නෑ. ඒ වගේම තමන්ගේ බිරිඳ අන් අය හා යහන්ගත කිරීමෙන් ලබන ලංකාවෙ නම් විපරීත කියන ආස්වාදයක් පුහුණු කරමින් ඉන්න ඩාලිගේ ලිංගික විශ්වයත්  ඊට නොදෙවෙනිව විශාලයි.

අජිත් කුමාරසිරි කියන විදිහට සමහර විට සැල්වදෝර් ඩාලි මිදි කකා, වයින් බිබී, කැමතිම සංගීතය විඳිමින්, සුව යහනක සැතපී, තමන්ගේ බිරිඳ අන් අය හා රමණයේ සෞන්දර්යය විඳින්න ඇති.

ඩාලි ගලාව නොයෙක් විට සිත්තමට නගනවා. ඒ අසීමිත පේ‍්‍රමය නිසාම. එකතැනක ඇයව ඩාලි නිරූපනය කරන්නෙ කන්‍යා මරියා විදිහට. මේ සම්බන්ධය ඇතුලෙ ඩාලි ගොඩක් පරිණත වෙනවා. ගොඩක් වැඩ කරනවා. පිරිමියෙක්ගෙ හොඳම දේ අරගෙන සමාජයට දෙන්න පුළුවන් විදිහෙ ගෑනියෙක් ගලා කියන්නෙ. වාමාංශික කලා නඩය එයාට කලාකරුවන් විනාශ කරන පිළිලයක් කියද්දි එයාව ආශ‍්‍රය කරපු අය කියන්නෙ එයා තමන්ව කොයිතරම් ඉන්ස්පයර් කළාද කියල.

ඩාලි පර්ෆියුම් එක හදන්නෙ එයාව මතක් වෙන්න. ගලා මැරුණට පස්සෙ ඩාලිට ජීවත් වෙන්න හේතුවක් නැති වෙනවා. කීප වතාවක්ම එයා දිවි නසා ගන්න උත්සාහ ගන්නවා. ඩාලි අසූවියැති මහල්ලෙක් විදිහටත් ආදරය කරනවා දරුණුවට.

ඩාලිට මුණගැහෙන්න කලින් ගලා පෝල් එලාර්ඞ් කවියාගේ බිරිඳ. පෝල්ව ඇයට මුණගැහෙන්නෙ අවුරුදු දාහතේදී විතර. පෝල් ඒ කාලෙදි පෙරුම්පුරන කවියෙක්. කවියෙක් වෙන්න දුක් විඳින්න  ඕන කියල පෝල් දැඩිව විශ්වාස කරනවා. කවදා හරි ඔයා ලොකු කවියෙක් වෙනවා, ගලා පෝල්ට ස්තිරව කියනවා. එයා නොකියා කියන කතාව වෙන්නෙ ‘මං ඔයාව කවියෙක් කරනවා’ කියන එක.

පෝල්ගෙ ශක්තිය වෙන්නෙ ගලා. කවි වල හොඳ තැන් නරක තැන් තෝරලා දෙන්නෙ එයා. අඩුපාඩු හදන්නෙ එයා. පෝල් තමන්ට අවශ්‍ය තැනට එනකල්, ඒ කවියා බිහිවෙන කල් ගලා එයාගෙ අතින් අල්ලගෙනම ඉන්නවා.

ගලා කියන්නෙ පුදුමාකාර ආදරයක් තිබුණු ගැහැණියක්.

පෝල්ට  ඕන වෙන්නෙ දුක් විඳින ජීවිතයක්. එයාගෙ හොඳම කවි ලියවෙන්නෙ යුද්දෙ කාලෙ රෝහලක මළ මිනී මැද්දෙ. දවසකට මළඋන් ගැන පවුල් සීයකට දෙසීයකට ලියුම් ලියන්න පැවරෙන්නෙ පෝල්ට. මිනී වළදාන, කුණු ගඳ ගහන අපාය මැද්දෙ පෝල් කවීත්වය පසක් කර ගන්නවා. ඒ කවියා ජීවත් කරන්න ගලා මේ අපායට වුණත්් එනවා. එයා හැමදුකක්ම විඳගෙන පෝල් එක්ක ජීවත් වෙනවා.

‘ඔයා ඉක්මණටම හොඳ තැනකට එනවා’ වැටෙන හැමවෙලාවකම ගලා පෝල්ව නැගිට්ටනවා.

ගලා සහ පෝල් කියන්නෙ අයිකොනික් ආදරයක්. පෝල් එලාර්ඞ් කිව්වම කව්ද කියල දන්නෙ නැති නිසා එයාගෙ කවියකින් කොටසක් පරිවර්තනය කරන්නම් මෙතන.

ඔබ නැගෙන විට දිය දෙබෑ වෙනවා

ඔබ නිදන විට දියේ මල් පිපෙනවා

පතුලෙන්ම ගලා යන දිය උල්පතයි ඔබ

හැම දෙයක් මුල් ඇදුණු පිහිටි මහපොලොව ඔබ

ශබ්ද කාන්තාරය මැද්දේ ඔබ නිශ්ශබ්දතාවයේ බුබුළු නගනවා

දේදුනු පාලම මත්තේ ඔබ රාත‍්‍රී ගීතිකා ගයනවා

ඔබයි මේ හැම තැනම.. පාරවල්  ඕන නෑ ලෝකෙට

මේ ඉන්න අතරෙදියි ඩාලි සහ ගලා අතර මුනගැහීම සිද්ද වෙන්නෙ. ඒ වෙද්දි ගලාට පෝල් එක්ක තිබ්බ මිෂන් එක ඉවරයි. පෝල් පරිණත කවියෙක්.

ඒත් ගලා සහ ඩාලි ආදරය පටන් ගත්ත තැන ඉඳන් අවුරුදු ගානක් පෝල් ආගිය අතක් නැති වෙනවා. ඒ වේදනාව දරාගන්න එයා ලංකාවටත් ගොඩවෙනවා.

පෝල් වෙනුවෙන් කළ දේවල් නිමා කරලා ගලා ඩාලි ළ`ගට එනවා, දෙවෙනි දරුවා හදන්න. ගලා පොඩි දරුවො හදාගන්න ගෑණියෙක් නෙමෙයි. ඇත්තටම එයා පළවෙනි කුසෙන් උපෙන් දරුවා පවා නොතකා හැරියා. එයා හදාගන්නෙ ලොකු ළමයි. එයා ලොකු අම්මා කෙනෙක්.

ඩාලි ගලා ගැන එයාගෙ ආදරේ කියන්නෙ මේ විදිහට.

‘මං ගලාට උපරිමයෙන් ආදරෙයි. කොච්චර ආදරේද කිව්වොත් එයා මැරුණොත් මං එයාව කනවා.. එයා තමයි ලෝකෙ බිහිවුණු හොඳම ආර්ටිස්ට්’

ගලා කියන්නෙ ඩාලිගේ අධිසත්තාවාදී පේ‍්‍රමය.

මට සැල්වදොර් ඩාලි පර්ෆියුම් එකක් ගන්න  ඕනි. ඒ ඩාලි වත් පෝල් වත් හින්ද නෙමෙයි. මට ගලා කියන්නෙ ඒ තරම් විශාල ගැහැණු ජීවිතයක් හින්ද. ඩාලිගේ අධිතාත්විකවාදී නාසයට ඇගේ සුවඳ දැණුනු විදිහ විඳින්න වටින හින්ද.

මට ගලාව ඉඹින්න තියෙන එකම සජීවී විදිහ ඒක හින්ද.

-චින්තන ධර්මදාස

Categories: Brainstorm

Leave a Reply